Wednesday, January 31, 2018

චීනය



චීනය ගැන ලෝක අවධානය යෙදවෙන හේතු කාරණා කිහිපයකි. ඉන් ඒක කාරණයක් වන්නේ එහි ජනගහනයයි. ලෝකයේ සිටින මිනිසුන් 5ක් ගතහොත් ඉන් එක් අයෙක් චීන ජාතිකයෙකි. ලෝකයේ භාවිතා කරන සෙල්ලම් බඩු 9ක් ගතහොත් ඉන් 6ක් නිශ්පාදනය කර ඇත්තේ චීනයේය. චීනය සතුව අතිවිශාල භූමි ප්‍රමාණයක් ඇත. එහෙත් චීන ජනතාව සතුව තමන්ගේම කියා ඇති ඉඩමක් නැත. ඒ චීනය සමාජවාදී නිසාය.
චීනයේ ෆෙස්බුක් භාවිතය තහනම්ය. යූටියුබ්, ට්‍විටර්,ගූගල් නැත. එහෙත් ඒ හැම එකකටම ආදේශක චයිනීස් වර්ෂන් එකක් තිබේ. ෆෙස්බුක් වෙනුවට QQද, ෆෙස්බුක් මැසෙන්ජර් වෙනුවට wechat ද, යූටියුබ් වෙනුවට youku.com ද, ගූගල් වෙනුවට baidu.com, ට්විටර් වෙනුවට weibo.com ද ඇත.
චීනයේ ඉංග්‍රීසී හෝ වෙනත් විදේශ භාෂාවක් භාවිතා නොවන තරම්ය. එහෙත් ප්‍රංශ භාෂාවට වඩා ඉංග්‍රීසි භාෂාව භාවිතා වන අතර ඉංග්‍රීසි ඉගෙන ගැනීමට කැමති තරුණ පරපුරක් සිටී. ඉංග්‍රීසියෙන් වචන කිහිපයක් කතා කරන්නටත් ඉංග්‍රීසි පුරුදුවීම සදහා ඉංග්‍රීසි කතා කරන මිතුරන් ඇති කරගන්නටත් චීනුන් කැමතිය.
ඔබගේ ආගම කුමක්දැයි චීන ජාතිකයෙක් ඇසුව හොත් සියයට 90ක් පමණම කියා සිටින්නේ ඔවුන්ට ආගමක් නැති බවයි. චීන ජාතිකයන් නොකන මස් වර්ගයක් නැත. මස් සදහා ගන්නා සතුන් විකුණන්නේ පණ පිටින්ය. ගෙම්බන්, ඉබ්බන්, මාලුවන් සුපිරි වෙළද පොළවල විකිණිමට තබා තිබෙන්නේ සජීවී තත්වයෙන්ය.
චීන්නුගේ කෑම සැර නැත. එහෙත් රට මැදට වන්නට ඇති ‍Chongqing හි වාසය කරන චීන ජනතාව කුලුබඩු සහිත සැර ආහාර ප්‍රිය කරති. ගම්මිරිස් හා මිරිස් සැරට එහා ගිය සැරක් සහිත කලුබඩුවක් ‍‍චොන්චිං වැසියෝ ආහාර සදහා ඒක කර ගනිති. එහි නම දන්නා විදේශිකයින් ආහාර සැකසීමේදී එම කුලුබඩුව ආහාර වලට එක් නොකරැන්නයි වේල පහ කියති. ආහාර ගන්නා මේසය වටා සිටිමින් ආහාර පිසමින් අනුභව කරන හොට්පොට්(hot pot) ක්‍රමය චීනයේ චොන්චිං ප්‍රදේශයේ ඇත. සාමූහිකව ආහාර ගැනීමත් ආහාර ගන්නා විට උස්හඩින් සතුටු සාමීචියේ යෙදීමත් චීන්නු අතර සුලභ දසුනක් වේ. රාත්‍රී ආහාරය වේල පහ ගැනීමත් කෑම ගැනීමෙන් පසු ව්‍යායාමය සදහා ඇවිදීමත් ඔව්හු පුරුද්දක් සේ කරති. නූඩ්ල්ස් වර්ග වලට ප්‍රිය කරන චීන්නු හැම දේම කෑමට ගන්නේ චොප්ස්ටික් හෙවත් දිගැති කෝටු දෙක ආධාරයෙනි. බත් බෙරිව හදන්නේ කෝටු භාවිතයෙන් කෑමට පහසු ලෙසයි.
චීන්නු සුහද ශීලීය. භාෂාමය ගැටලුව නොවේ නම් ඔව්හු ඉතා හිතවත්ව මුහුණට එබී, ලංව කතා කරති, උදව් උපකාර කරති. කලු හම ඇති විදේශිකයන් ඔවුනට අමුත්තන්ය. ඔවුන්ගේන් වසන් වීමට නොහැකි අතර සියලු දෙනාම පුදුමයෙන් මෙන් විදේශිකයන් දෙස බලති. අපිට සුද්දන් මෙන් චීන්නුන්ට කල්ලෝය.
චීන්නු චීනයට චීනය යැයි නොකියති. ඔවුන් කියන්නේ චොන්ගුවෝ කියාය. චීන්නුන්ට චීන නමට අමතරව තමන්ගේම් කියා ඉංග්‍රීසි නම් ඇත. සිසිලියා, සමර්, ලිලී නම් ඇති චීන කාන්තාවෝ සිටිති. ඉංග්‍රීසියෙන් අප හදුන්වන බොහොමයක් නම්, ස්ථාන පවා චීන භාෂාවෙන් ශබ්ද කෙරෙන්නේ වෙනස්ම ශබ්දයකිනි. ජැකී චෑන්, එවරස්ට් කන්ද චීන භාෂාවෙන් නම් වෙනස්ම නම් දෙකකි.
වර්තමාන චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinpin) 2020 වන විට චීනය ලෝක ආර්ථික බලවතා බවට පත් කිරීමට අදිටන් කරගෙන සිටී. එසේම චීනය ලෝකයේ සුන්දර ම රට බවට පත් කරන බව ඔහු පවසයි. තවම සංවර්ධනය වෙමින් පවතින රටක් වන චීනය 2050 වන විට සංවර්ධිත රටක් වනු ඇති බව කියනු ලැබේ. චීනය සතුව ශක්තිමත් හමුදා බලයක් තිබේ. නුදුරු අනාගතයේ එය ලෝක බලවතා වන ඇමරිකාව අභිබවා යනු ඇති නමුත් චීන ආරක්ෂක ප්‍රතිපත්තියට අනුව නම් ඔවුන් කවදාවත් ලෝක බලවතා වන්නෙ නැතැයි කියයි. චීනයට මිතුරෝ බොහෝ වෙති. ආසියාවේත්, අප්‍රිකාවේත් සෑම රටකම චීනය මුල්වී කරන සංවර්ධන කටයුතු අඩුම තරමින් එකක් හෝ වෙයි. ලෝකයේ හැම තැනම චීන්නුය. එහෙත් ඔවුන් ආක්‍රමණශ්‍රීලි නො‍වන නමුත් උපායශීලීය.
චීනයේ සංවර්ධන කටයුතු සිදුවන්නේ අධික වේගයකිනි. පසුගිය අවුරුදු තුන තුල චීනය භාවිතා කල සිමෙන්ති ප්‍රමාණය 20 වන ශත වර්ශය තුල ඇමරිකාව පාවිච්චිකල මුලු සිමෙන්ති ප්‍රමාණය අභිබවා ගිය බැව් කියනු ලැබේ.
චීනයේ මහල් නිවාස ගොඩනැගිලි වල ආයු කාලය එක් ජීවිතා කාලයකට පමණක් සීමා වේ. පරණ ගොඩනැගිලි කඩා ඉවත් කරමින් එතැනම අලුත් ගොඩනැගිලි ඉදිවෙයි. ඉදිකිරීමේ වේගවත් බවද අතිශයින් ඉහලය. පසුගිය දා පෙරසවි ක්‍රමයේ තට්ටු 57 ක් වූ මහල් නිවසක් දින 19ක් තුල ඉදිකල බව වාර්තා විය. චීනයට ඔවුන්ගේම වූ ඉදිකිරීම් ක්‍රමවේදයක් තිබේ. චිනයේ නගර සැලසුම් ඉතා ඉහළ මට්ටමින් සැලසුම් වෙයි. උමං මාර්ග, භූගත ඉදිකිරීම්, අහස් පාලම්, අතිවිශාල ගොඩනැගිලි එකිනෙකට ගැලපෙන අයුරින් සැලසුම් වෙයි.
චීනයේ ඉදිරි අනාගතයේ දී බලපාන ගැටලු කිහිපයකි. ඉන් ප්‍රධාන වන්නේ වැඩිවන වැඩිහිටි ජනගහනයයි. 2030 වන විට අවුරුදු 60ට වැඩි ජනගහනය මිලියන 355ක් වන බව කියනු ලැබේ. චීන පවුලකට සිටින්නේ එක් දරුවෙක් පමණි. ඒ ජනගහනය පාලනය කිරීම සදහා වූ චීන ප්‍රතිපත්තිය නිසාය. වයස්ගතව විවාහ වීම් චීනයේ බහුලය. විවාහපත් යුවළකට තම එකම දරුවාට අමතරව ඔවුන්ගේ දෙමව් පියන්ද රැක බලා ගැනීමට සිදුවන්නේ එම දෙමව් පියන්ටද වෙනත් දරුවන් නොමැති හෙයිනි. මේ හේතුව නිසා වයස්ගත වීමෙන් පසු හුදකලා වන අධික වැඩිහිටි ජනගහනයක් චීනයේ සිටියි. එහෙත් අද වන විට ලෝකයේ ඉහළම සමාජ සුභ සාධන වැඩපිළිවෙළ ඇත්තේ චීනයේයැයි කියයි.
සිය රටේ අනාගතය කෙරෙහි ඉමහත් අවධානය යොමු කරමින් සිටින චින ජනතාව, ලෝකයේ අනාගතයට ද අවධානය යොමු කරමින් සිටිති.අප්‍රිකාවේ එබෝලා වසංගත රෝගයට ප්‍රතිකාර කිරීමට අමතරව මාල දිවයින් අගනගරයේ ජල හිඟය සිදු වීමෙන් පසු ඒ සදහා සහනාධාර ලබා දීමටද චීනය මැදිහත් විය. එමෙන්ම පසුගියදා නේපාලයේ සිදුවූ භුමිකම්පාවෙන් විපතට පත්වූවන් මුදා ගැනීමටද චීනය මැදිහත්ව සිටී.
2015 උදාවේදී චීන ජනාධිපති ෂී ජින් පීන් මහතාගේ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩය නිකුත් වුනේය. එය අවසන් කර තිබුනේ;
"ලෝකයේ විවිධ රටවල ජනතාව සාගින්නෙන් හා සීතලෙන් මුදා ගනිමින් සියළු පවුල් යුද ගැටුම් වලින් මුදා ගනිමින් සියළු දරුවන්ට සාමකාමී ආලෝකවත් අනාගතයක් අත්පත් කර දීම සඳහාත් අපට පොදුවේ වෑයම් දැරීමට හැකි වනු ඇති බව මගේ අපේක්ෂාවයි" ලෙසයි.
~සුරංග පටබැඳිගේ~
2015/5/4
වැඩිවිස්තර:
තට්ටු 57 මහල් නිවාසය
http://www.telegraph.co.uk/…/Chinese-company-builds-57-stor…

No comments:

Post a Comment